ආදායම පිළිබඳව ව්‍යාජ තොරතුරු ලබා දී රක්ෂණාවරණ ලබා ගැනීම ප්‍රතිලාභ මුළුමනින්ම අහිමිවීමට හේතුවක් විය හැකියි!

රක්ෂණ නීතිය පදනම් මූලධර්මය වන්නේ පාර්ශ්වයන් උපරිම සද්භාවය මත කටයුතු කිරීමයි!

රක්ෂණ නීතිය පදනම් මූලධර්මය වන්නේ පාර්ශ්වයන් උපරිම සද්භාවය මත කටයුතු කිරීමයි!

උපරිම සද්භාවය කඩකිරීම නඩුවකදී ඔප්පු කළ යුත්තේ එය චෝදනා කරන පාර්ශ්වයයි.

ශ්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ මගින් පැන නගින ගැටලු සඳහා අදාළ වන්නේ ඉංග්‍රීසි නීතියයි.

සත්‍ය ආදායම් විස්තර ලබා දීම යනු රක්ෂණ ගිවිසුමේ වැදගත් කරුණක් බවත් ඒ මත පදනම්ව රක්ෂණ ආයතනය විසින් ප්‍රතිලාභ ලබාදෙන බැවින් එම තොරතුරු ව්‍යාජ ලෙස ලබාදීම උපරිම සද්භාවය කඩකිරීමක් වේ

රක්ෂණ ඔප්පු හිමියා විසින් සෑම විටම රක්ෂණ ආයතනය නොමග යවන සුළු තොරතුරු ලබාදීමෙන් වැළකී සිටීමට සාධාරණ උත්සාහයක් ගත යුතුයි

රක්ෂණ ආවරණයක් ලබා ගැනීමේදී තම ආදායම පිළිබඳව අසත්‍යය තොරතුරු ලබා දීම හේතුවෙන් උපරිම සද්භාවය යන මූලධර්මය කඩකිරීම මත එකී රක්ෂණයේ ප්‍රතිලාභ ගෙවීමට රක්ෂණ ආයතනය බැඳි නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදි ලබාදුන් නඩු තීන්දුවක් මඟින් අවධාරණය කරන ලදී.

මෙම නඩුකරයේදී රක්ෂණ ඔප්පු හිමියා විසින් ජීවිත රක්ෂණයකට එළඹෙන අවස්ථාවේදී තම මාසික ආදායම, වාර්ෂික ආදායම් වාර්තා, රැකියාව සහ ව්‍යාපාර පිළිබඳ තොරතුරු අසත්‍ය සහ ව්‍යාජ ලෙස රක්ෂණ ආයතනය වෙත ලබා දී ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වීම මත එම රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ ගෙවීමට රක්ෂණ ආයතනය නීතියෙන් බැඳී නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේයිරාජා මහතා තීන්දු කළේය.

නඩුවේ පසුබිම

රක්ෂණ ඔප්පු හිමියා විසින් ජීවිත රක්ෂණයක් ලෙස මාසිකව ලක්ෂයකට ආසන්න වාරිකයක් ගෙවීමට එකඟ වෙමින් එසේ වාරිකේ ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් තමන් උපයන බවට විස්තර ලබාදෙමින් රක්ෂණ ආයතනය සමඟ ගිවිසුමකට එළඹිණි.

මෙම ජීවිත රක්ෂණය ලබාගෙන මාස හතරක් යෑමට පෙර රක්ෂණ හිමියා හදිසි මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

මෙම ජීවිත රක්ෂණයේ ප්‍රතිලාභියා ලෙස රක්ෂණ හිමියා නම් කර තිබුණේ ඔහුගේ ඥාතියකු වන පුද්ගලයකු ය.

රක්ෂණ හිමියාගේ ඇවෑමෙන් මිලියන ගණනක ප්‍රතිලාභයකට හිමිකම් කී එම ඥාති පුද්ගලයා විසින් රක්ෂණ ආයතනය වෙත තමාගේ හිමිකම සම්බන්ධයෙන් ඉල්ලීම් කළේය. එහෙත් රක්ෂණ ආයතනය එම ප්‍රතිලාභ ගෙවීමට විරුද්ධ විය.

ඒ හේතුවෙන් ප්‍රතිලාභී තැනැත්තා විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ රක්ෂණ ආයතනයට එරෙහිව නඩු පවරන ලදී.

මහාධිකරණයේදී රක්ෂණ ආයතනය විසින් ගෙනආ තර්කයන් වූයේ මෙම රක්ෂණ හිමියාගේ හදිසි අනතුර සැක සහිත එකක් බවත්, ඔහු තම බිරිඳ සහ මව සිටියදී වෙනත් ඥාතියකු ප්‍රතිලාභියා ලෙස යොදා තිබීම සැක සහිත බවත්, එමෙන්ම රක්ෂණයට එළඹෙන අවස්ථාවේදී රක්ෂණ හිමියා විසින් රක්ෂණ නීතියේ ප්‍රධාන මූලධර්මය වන උපරිම සද්භාවය මත ක්‍රියා නොකරමින් ඔහුගේ ආදායම් පිළිබඳ ව්‍යාජ තොරතුරු ලබාදෙමින් රක්ෂණ ආයතනය නොමග යවා රක්ෂණ ආවරණය ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම රක්ෂණ හිමියාගේ හදිසි අනතුර පිළිබඳව සැකයක් ජනිත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මහාධිකරණය ඉදිරියේදී නොතිබුණි.

මෙම රක්ෂණ හිමියාගේ ඥාති ප්‍රතිලාභියා මහාධිකරණ නඩුවේදී සාක්ෂි ලබා දුන්නේය. රක්ෂණ ආයතනය ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීය. එම හරස් ප්‍රශ්න අතරතුරදී මෙකී ජීවිතක්ෂයට පත් රක්ෂණ හිමියා කලක් ප්‍රතිලාභියා යටතේ පුද්ගලික සහායකයෙක් ලෙස සේවය කර ඇති බවත්, එම අතරතුර කාලයේදීම රක්ෂණ හිමියා විසින් තමන්ගේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් ඇති බවත් හෙළි විය. කෙසේවෙතත්, එකී ව්‍යාපාරය ආරම්භ කළ දිනය සහ ප්‍රතිලාභියා යටතේ රැකියාවක් කල බව රක්ෂණ හිමියා රක්ෂණ ආයතනයෙන් සඟවා ඇති බව හෙළි විය.

තවද තම ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම, වාර්ෂික ආදායම් වාර්තා, වංචනික ලෙස රක්ෂණ් ආයතනය නොමග යවමින් රක්ෂණ හිමියා විසින් ලබා දී ඇති බව ද මෙම හරස් ප්‍රශ්න අතරතුරදී හෙළි විය.

මෙම ජීවිතක්ෂයට පත් රක්ෂණ ඔප්පු හිමියා සරලවම තම ආදායමට වඩා වැඩි ආදායමක් පෙන්වා රක්ෂණ ආයතනය නොමග යවමින් ජීවිත රක්ෂණ ගිවිසුමකට එළඹී ඇති බව රක්ෂණ ආයතනය මෙම නඩුකරයේදී හබ කළේය.

මහාධිකරණය රක්ෂණ සමාගම මෙම රක්ෂණ ගිවිසුම මත ප්‍රතිලාභ ගෙවීමට එම නිසා බැඳී නොමැති බවට තීන්දු කළේය.

එයින් අතෘප්තියට පත් ප්‍රතිලාභියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ ලෙස රක්ෂණ නීතිය හා බැඳී මූලධර්මයන් පිළිබඳව සහ එම මූලධර්මයන්ගේ කාලයත් සමඟ සිදුවූ වර්ධනයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තම නඩු තීන්දුව ලබා දෙන ලදි.

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ නීතිය

ශ්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ ගිවිසුම් ආශ්‍රිතව පැන නගින ගැටලු සඳහා බලපාන නීතිය ඉංග්‍රීසි නීතිය බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී පැහැදිලි කර ඇත.

එමෙන්ම, රක්ෂණ නීතියේ එන මූලිකම හරය වන්නේ ගිවිසුමකට එළඹෙන පාර්ශ්වයන් අතරවූ උපරිම සද්භාවය පවත්වාගෙන යෑම බවත්, එය විනිශ්චිත නඩු තීන්දු ගණනාවක් මගින් ස්ථාපිත වූ සියවස් ගණනාවක් පුරාවට වර්ධනය වී ඇති මූලධර්මයක් බවත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.

ක්‍දබිමපැර ෂබිමර්බජැ :ෘසිජකදිමරු ්බා ඍැචරුිැබඒඑසදබි* ්ජඑ 2012 සහ ෂබිමර්බජැ ්ජඑ 2015 යන පනත් ඉංග්‍රීසි නීතියට එකතු වීමත් සමග රක්ෂණ නීතියට අදාල මූලධර්මවල සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇති නමුත් රක්ෂණ නීතියේ ප්‍රධාන මූලධර්මය වන උපරිම සත්භාවය මත කටයුතු කිරීම තවමත් එසේ පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී අවධානය යොමු කර ඇත.

රක්ෂණ නීතියට අදාළ ඉංග්‍රීසි නීතියේ නව ප්‍රවණතා

රක්ෂණ ගිවිසුමකට එළඹීමට පෙර රක්ෂණ හිමියා විසින් රක්ෂන ආයතනය වෙත තොරතුරු හෙළි කළ යුතුයි යන දෘඪ මූලධර්මය තරමක් ලිහිල් වී ඇති බවට නිරීක්ෂණය කළ අධිකරණය කෙසේ වෙතත් නව නීතිය තුළ ”රක්ෂණ හිමියා විසින් සෑම විටම රක්ෂණ ආයතනය නොමග යවන සුළු තොරතුරු ලබාදීමෙන් වැළකී සිටීමට සාධාරණ උත්සාහයක් ගත යුතු බව” යන මූලධර්මය මත ඉංග්‍රීසි නීතිය වර්ධනය වී ඇති බව අධ්‍යයනය කර ඇත.
මෙකී මූලධර්මයද රක්ෂණ නීතියේ මූලික මූලධර්මය වන උපරිම සද්භාවය මත ක්‍රියා කිරීම යන කරුණු මත පදනම් වූ නීතියේ වර්ධනයක් බවත් අධිකරණය මෙහිදී අවධාරණය කොට ඇත.

මෙම රක්ෂනාවරණය ලබාගෙන ඇත්තේ 2006 වසරේදී වීම නිසා, මෙම නඩුකරයට අදාලව අදාළ වන ඉංග්‍රීසි නීතිය 2012 ට පෙර පැවැති ඉංග්‍රීසි නීතිය බවත් මෙහිදී අධිකරණය අධ්‍යනය කර ඇත.

එහිදී, ඉංග්‍රීසි විනිශ්චිත නඩු තීන්දු මෙන්ම ශ්‍රී ලංකාවේ විනිශ්චිත නඩු තීන්දු කෙරෙහිද අවධානය යොමු කරමින්, රක්ෂණ ගිවිසුමකට එළැඹීමට පෙර සෑම විටම වැදගත් තොරතුරු හෙළි කිරීම සහ අසත්‍ය තොරතුරු ලබාදීමෙන් වැළකී සිටීම සිදුකළ යුතු බවත්, එය උපරිම සද්භාවය යන රක්ෂණ ගිවිසුමක අත්‍යවශ්‍ය අංගය ස්ථාපිත කරන කරුණු බවත් අධිකරණය සඳහන් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදි මහාධිකරණය ඉදිරියේවූ සාක්ෂි කෙරෙහි අවධානය යොමු කළේය. එහිදී පැහැදිලි ලෙසම ප්‍රතිලාභියාගේ හරස් ප්‍රශ්න අතරතුරදි රක්ෂණ හිමියා විසින් ව්‍යාජ ලෙස තම ආදායම් පිළිබඳව විස්තර ලබාදෙමින් මෙම රක්ෂණ ගිවිසුමට එළඹී ඇති බවට අධිකරණය නිරීක්ෂණය කර ඇත.

තවද ආදායම් යනු රක්ෂණ ගිවිසුමේ වැදගත් කරුණක් බවත් ඒ මත පදනම්ව රක්ෂණ ආයතනය විසින් ප්‍රතිලාභ ලබාදෙන බැවින් ඒ ව්‍යාජ ලෙස ලබාදීම උපරිම සද්භාවය කඩකිරීමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේය.

එමෙන්ම වත්මන් ඉංග්‍රීසි නීතියේ වර්ධනය වූ මූලධර්ම වලට අනුව වුවද මෙම නඩුවේ රක්ෂණ හිමියා විසින් පැහැදිලිවම පටහැනිව කටයුතු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේය.

ඔප්පු කිරීමේ බාරය

මෙවැනි නඩුකරයක රක්ෂණ හිමියෙකු විසින් අසත්‍ය කරුණු ලබාදෙමින් වංචනික ලෙස රක්ෂණය ගිවිසුමකට එළඹී ඇතිබව චෝදනා නගන්නා වූ රක්ෂණ ආයතනය විසින් එය නඩුවකදී ඔප්පු කළ යුතු බවත්, එකී ඔප්පු කිරීමේ බාරය රක්ෂණ ආයතනය සතු වන බවත් අධිකරණය කියා සිටියේය.

එවැනි වංචනික ක්‍රියාවක් ඔප්පු කිරීමේදී කුමන බරක් මත එකී ඔප්පු කිරීම සිදු කළ යුතු දැයි යන්න කෙරෙහිද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කර ඇත.

විනිශ්චිත නඩු තීන්දු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී කියා සිටියේ ඔප්පු කිරීම කෙතරම් බරක් මත සිදුකළ යුතුදැයි තීරණය වන්නේ චෝදනාවේ බරපතළකම මත බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුකරයේදී රක්ෂණ වලට අදාළ සියලු ගිවිසුම් පාලනය වන්නේ උපරිම සද්භාවය මත ක්‍රියා කිරීම තුළ බවත්, එවැනි උපරිම සද්භාවයක් කඩ කර ඇති නම් එම කඩ කිරීම චෝදනා කරන පාර්ශවය විසින් එය ඔප්පු කළ යුතු බවත්, මෙම නඩුකරයේදී පැහැදිලි ලෙසම රක්ෂණ හිමියා විසින් එම මූලධර්මය කඩ කර ඇති බවත් තීන්දු කළේය.

Case No: SC. CHC. Appeal No. 25/2011 [Decided on 14.06.2024]

Before: S. THURAIRAJA, PC, J. KUMUDINI WICKREMASINGHE, J. & JANAK DE SILVA, J

Join Our Community

Keep in touch with the latest news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *