“විනිසුරුවරුන් මහජන විශ්වාසය කඩවෙන ආකාරයේ සුළු හෝ සැකයකට ඉඩ නොතැබිය යුතුයි”
විනිසුරුවරුන්ගේ හැසිරීම සීසර්ගේ බිරිඳට සමාන විය යුතුය- ශ්‍රේෂ්ඨාධිකරණය

“විනිසුරුවරුන් මහජන විශ්වාසය කඩවෙන ආකාරයේ සුළු හෝ සැකයකට ඉඩ නොතැබිය යුතුයි”
“නඩුවක තමන්ට උවමනා විනිසුරු මඩුල්ලක් පත් කර ගැනීමට කටයුතු යෙදීම (Bench Fixing) හෝ එසේ තමන්ට වාසිදායක විනිසුරු මඩුල්ලක් පත් කර ගැනීමට උපායේ යෙදීම (Bench Hunting Tactics) ඕනෑම තත්වයක් තුළ හෙළා දැකිය යුතු කාරණයක් බවත්, ඊට වගකිවයුත්තේ නීතිඥවරුන්වුවද, ලේඛනගත නීතිඥවරුන් වුවද, විනිසුරුවරුන් වුවද එම ක්‍රියාවන් පිළිබඳව දැන ගත් වහාම ඒවා නැවත්වීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුවේදි සඳහන් කළේය”
“විනිසුරුවරුන් සැමවිටම නඩුවක් තීන්දු කළ යුත්තේ නඩුවේ ඇති කරුණු මත සහ නීතියේ මූලධර්ම මත බවත් වෙනත් කිසිඳු බාහිර සාධකයක් මත අධිකරණ තීන්දු පදනම් නොවීමට වග බලාගැනීම විනිසුරුවරුන්ගේ වගකීමක් බවද මෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.”
අධිකරණය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු වීමට හේතු විය හැකි කුමන හෝ සැකයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙස ක්‍රියාකිරීමට විනිසුරුවරුන් කටයුතු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී අවධාරණය කළේය. විනිසුරුවරුන් සම්බන්ධයෙන් වූ පැරණි කියමනක් උපුටා දක්වමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ විනිසුරුවරයෙකු යනු සීසර්ගේ භාර්යාව මෙන් බවත්, සාමාන්‍ය පුද්ගලයින් මෙන් නොව විනිසුරුවරුන් සුළු හෝ සැකයකින් ඔබ්බෙන් සිටිය යුතු තැනැත්තන් බවයි.
නඩුවේ පසුබිම
ව්‍යවස්ථාදායක සභාව විසින් පසුගිය වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිවූ විනිසුරු පුරප්පාඩුවක් සඳහා එවක අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ විනිසුරුවරයා එවක ජනාධිපතිගේ යෝජනාවක් ලෙස ලැබී තිබියදී එම විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් නොකිරීමට තීරණය කළේය. එම තීරණයට එරෙහිව එක්තරා නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.
එවක අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ට උසස් කිරීමට මුල් අවස්ථාවේදි යෝජනා වූවත් පාර්ලිමේන්තුව තුලදි ඔහුට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් වන්නට විය. ඊට ප්‍රතිචාරයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව විසින් විනිසුරුවරයාට එල්ලවන චෝදනා පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේය. පසුව එම විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ට උසස් නොකිරීමට ව්‍යවස්ථාදායක සභාව අවසානයේ තීරණය කළේය. එකී තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යය ට අභියෝගයක් යැයි චෝදනා කරමින් මෙම පෙත්සම ගොනු විය.
කෙසේවෙතත්, මෙම විනිසුරුවරයාට එල්ල වූ චෝදනාවන් සහ ව්‍යවස්ථාදායක සභාව එම චෝදනාවන් සලකා බැලීම ද කෙරෙහි දීර්ඝ අධ්‍යයනයක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සමේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
තවද, මෙම විනිසුරු වරයාට එල්ල වූ චෝදනාවන් පිළිබඳව සහ ඔහු ගේ ක්‍රියාවන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අප්‍රසාදය මෙම නඩු තීන්දුවේ සඳහන් කර ඇති අතර එහිදි එකී විනිසුරුවරයා මුලසුන දැරූ අභියාචනාධිකරණ රිට් පෙත්සමක් පදනම් ව ඉදිරිපත් වූ චෝදනවන් අධිකරණය විශේෂයෙන් අධ්‍යයනය කරන්නට විය.
පසුබිම් රිට් නඩුවේ සිදු වීම
එක්තරා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා රිට් පෙත්සමක් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු විය. එම පෙත්සම ඉහත කී එවක සභාපති විනිසුරු මුලසුන දරන මඬුල්ලක් ඉදිරියේ මුල් අවස්ථාවේ කැඳවිණි. කෙසේවෙතත්, මෙම පෙත්සම් විභාගය අතරතුර එවක සභාපති විනිසුරු විදෙස්ගත විය. ඒ නිසා එම රිට් පෙත්සම විභාග කිරීමට වෙනත් විනිසුරු මඬුල්ලක් පත් විය. පෙත්සම් විභාගය ආරම්භ විය. නීතිපති වරයා වග උත්තර කරුවන් වෙනුවෙන් මූලික විරෝදතාවයන්ද ගොනු කළේය. පෙත්සමේ හදිසි ඉල්ලිම ගැන සලකා ඒ අනුව විභාගයට තැබිණි.
කෙසේවෙතත්, පෙත්සම්කරු විසින් හිටි හැටියේම මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඉල්ලා සිටියේය. ඊට අධිකරණයද අවසර ලබා දුනී. පසුව තවත් දින කිහිපයකට පසුව පෙත්සම් කරු නැවතත් රිට් පෙත්සමක් එකම කරුණු මතම ගොනු කළේය. ඒ වන විට එවක අභියාචනාධිකරණ සභාපති විනිසුරු විදේශයේ සිට නැවත රාජකාරීන් සඳහා පැමිණ සිටියේය. එම දෙවන පෙත්සම ඒ අනුව ඔහු මුලසුන දරන විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නැවත කැඳවිණි.
නීතිපතිවරයා මෙම දෙවන නඩුව ගොනු කළ ආකාරයට දැඩිව විරුද්ධ විය. පළමු නඩුවේ දෝෂ නිරාකරණය කරගෙන දෙවන නඩුව ගොනු කිරීමට එරෙහිව මෙන්ම මෙහිදි නීතිපතිවරයා සුවිශේෂී චෝදනාවක් ද කළේය.
මෙම දෙවන පෙත්සම Bench Hunting Tactics යොදමින් නොහොත් තමන්ට වාසි දායක තීන්දුවක් ලබා ගැනීමේ අරමුණින් වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩුව කැඳවා ගැනීමට කරන ලද උපායක් බව නීතිපති වරයා මෙම දෙවන නඩුවේ ලිඛිත දේශන ගොනු කරමින් චෝදනා කළේය.
කෙසේවෙතත්, මෙම දෙවන නඩුවේ තීන්දුව පෙත්සම්කරුගේ වාසියට ලැබිණි.
එහෙත්, එම තීන්දුව ලබා දුන් සභාපති විනිසුරුවරයාගේ තීන්දුවේ නීතිපතිගේ Bench Hunting Tactics චෝදනාව ගැන කිසිවක් සඳහන් වී නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇත.
ඒහෙයින්, ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් තම දැඩි අප්‍රසාදය පළකරමින් සඳහන් කර ඇත්තේ එම නීතිපතිගේ චෝදනාවන් මගහැරීමෙන් විනිසුරුවරයාගේ ආකල්පයන් පිළිබිඹු වන්නා බවයි.
ඒහෙයින්, එම විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ට උසස් නොකිරීමට ගත් ව්‍යවස්ථාදායක සභාවේ තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩවීමක් හෝ අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝගයක් ඇති වී නොමැති බවද මෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් අවධාරණය කළේය.
අධිකරණ තීන්දු සමාජය තුළ බලාත්මක වීමටත්, මහජනයා අධිකරණය කෙරෙහි විස්වාසය තැබීමටත් සැම විටම අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පවත්වා ගෙන යා යුතු බවද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.
විනිසුරුවරුන් සැමවිටම නඩුවක් තීන්දු කළ යුත්තේ නඩුවේ ඇති කරුණු මත සහ නීතියේ මූලධර්ම මත බවත් වෙනත් කිසිඳු බාහිර සාධකයක් මත අධිකරණ තීන්දු පදනම් නොවීමට වග බලාගැනීම විනිසුරුවරුන්ගේ වගකීමක් බවද මෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
තවද, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කරන අතරවාරයේදී මෙම අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාට එරෙහිව තවත් චෝදනාවක් ඉදිරිපත් විය. එනම්, ඩයනා ගමගේට එරෙහිව ගොනු කෙරුණු රිට් නඩුවේද ඩයනාගේ වාසියට ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුව තුල පාර්ශවකරුවයන්ගේ ලිඛිත දේශන වල ඡේදයන් රැසක් ඒ අකාරයෙන්ම ක්දචහ ්බා ඡ්ිඑැ කිරීමක් සිදු වී ඇති බවත්, එමෙන්ම එම ඩයනා ගමගේ නඩුවේ අවසාන තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ද මේ සම්බන්ධයෙන් තම තීන්දුව හරහා අප්‍රසාදය පළ කර ඇති බවත් ය.
එමෙන්ම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ප්‍රශ්නගත අභියාචනාධිකරණ සභාපති විනිසුරු පෙත්සම්කරු විසින් නම් නොකිරීමද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු වුණි.
සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම හුදෙක්ම අසද්භාවී ලෙස තව කෙනෙකුගේ උවමනාවට ගොනු කළ පෙත්සමක් බවක් එම අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නම් නොකරමින් පෙත්සම ගොනු කිරීම අසාමාන්‍ය බවත් අවධාරණය කළ අධිකරණය රුපියල් ලක්ෂ 15ක් වගඋත්තරකරුවන්ට ගෙවන ලෙසත් තවත් ලක්ශ 5ක් රජයේ ගාස්තු ලෙස ගෙවන ලෙසත් මෙම පෙත්සම ගොනු කළ නීතිඥවරයාට නියම කළේය.
“…the attitude shown to these questionable events by the Bench which was presided over by the Nominee Judge. That attitude is not at all acceptable. It is beyond the norms of the established practice of Courts. That is why perhaps the written submissions filed on behalf of the Hon. Attorney General referred to it as an incident occurred for the first time in the judicial history of this Country……Any officer holding its position as a trust to the general public must act in such a way that the trust reposed in him by the general public and the system is not breached…”
– Chief Justice P. Padman Surasena






