“මහේස්ත්‍රාත්වරුන් පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී යාන්ත්‍රික ලෙස පොලිසියේ ඉල්ලීම් ඉටු කරන රබර් මුද්‍රාවන් ලෙස කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි”
විමර්ශන අවසන් නොවීම පමණක් සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට වලංගු හේතුවක් නොවේ – ශ්‍රේෂ්ඨාධිකරණය

“මහේස්ත්‍රාත්වරුන් පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී යාන්ත්‍රික ලෙස පොලිසියේ ඉල්ලීම් ඉටු කරන රබර් මුද්‍රාවන් ලෙස කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි”
“අසම්පූර්ණ බී වාර්තාවන් මඟින් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීම ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි”
“මහේස්ත්‍රාත්වරුන් විසින් ඇප ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතුන් සටහන් කළ යුතුය”
“ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධ නීතිය මෙන්ම මෙම නඩු තීන්දුව මගින් සාකච්ඡා කොට ඇති මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ කරුණු ගැන මහේස්ත්‍රාත්වරුන් පුහුණු කිරීමට ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ ආයතනය විසින් සුදුසු පියවරයන් ඉදිරියේදී ගනු ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරනවා” – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා
මහේස්ත්‍රාත්වරුන් පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී යාන්ත්‍රික ලෙස පොලිසියේ ඉල්ලීම් ඉටු කරන රබර් මුද්‍රාවන් ලෙස කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී අවධාරණය කළේය.
විමර්ශන අවසන් නොවීම හෝ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබීම පමණක් සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට වලංගු හේතූන් නොවන බව ද මෙහිදී අධිකරණය ප්‍රකාශ කළේය.
විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන් බන්ධනාගාරගත නොවීම විමර්ශන වල ඉදිරි පියවරයන් ඵලදායි ලෙස සිදුකිරීමට බාධා වන බවට කරුණු ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම් එම සැකකරුවන් පොලිසියේ හුදු ඉල්ලීම මත පමණක් ක්‍රියා කරමින් බන්ධනාගාර ගත කිරීම මහේස්ත්‍රාත්වරුන් විසින් සිදු නොකළ යුතු බව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේය.
නඩුවේ පසුබිම
2018 වසරේ ජුනි මස 06 වන දින මහියංගනය- පොළොන්නරුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් සංවිධානය විය. එහිදී උද්ඝෝෂකයන් වන අලින් ගෙන් තම නිවාස වලට සහ වගාවන්ට සිදුවන හානි සඳහා නිසි පිළිතුරක් ලබා ලබා දෙන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කළෝය.
එහිදී මෙම උද්ඝෝෂණය නිසා සිදුවන මාර්ග බාධාවන් වැළැක්වීම සඳහා පොලිසිය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළා යැයි සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයන් ලබා ගන්නා ලදී.
පසුව එකී උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට ගොස් එලෙස ලබාගත් නියෝග පොලිසිය විසින් කියවා දැනුම් දුන් බව පොලීසියේ ස්ථාවරය විය.
කෙසේ වෙතත් පොලිසිය සමඟ උද්ඝෝෂකයන් මුල් අවස්ථාවේදී එකඟතාවයක් ඇති නොවුනද ඔවුන්ගේ ඉල්ලීමට අනුව සාකච්ඡාවක් නිසි බලධාරීන් සමඟ ලබාදීමට මෙහිදී එකඟ විය.
ඒ අනුව පසු දිනයේ දී එනම් ජූනි මස හත් වන දින පොලිසිය තුළදී උද්ඝෝෂකයන් සහ නිසි බලධාරීන් අතර සාකච්ඡාවක්ද පැවතිනි.
එසේ වුවද, ඉන් දින ගණනකට පසුව ජුනි මස 18 වන දින මෙම උද්ඝෝෂණයට සහභාගි වූ ඇතැම් පුද්ගලයන් පොලිසිය විසින් පොලිසිය වෙත කැඳවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
අධිකරණ අණ නොතැකීම, අනිසි අවහිර ඇති කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
මෙම අත්අඩංගුවට ගත් තැනැත්තන් අතර උද්ඝෝෂය සංවිධානය කළායැයි සැක කෙරූ පොලිසිය විසින් පෙර ලබාගත් අධිකරණ නියෝග යොමු කෙරුණු තැනැත්තන් මෙන්ම මෙම උද්ඝෝෂණයට සහභාගි වූ තවත් සැකකරුවන්ද විය.
අධිකරණය ඉදිරියේදී පොලිසිය විසින් කරන ලද සැලකිරීම් වලින් අනතුරුව මෙම සියලු සැකකරුවන් දින 14ක් දක්වා මහේස්ත්‍රාත් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ප්‍රධාන සංවිධායකයන් ලෙස පොලිසිය සලකන ලද තැනැත්තන්ට අමතරව රක්ෂිත බන්ධනාගාර ගත වූ අනෙක් අය අතුරින් දෙදෙනෙකු විසින් තම මූලික අයිතිවාසිකම් පොලිසියේ ක්‍රියා කලාපයන් නිසා කඩවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කරණ ලදි.
තම භාෂණය නිදහස මෙන්ම නීතියේ නිසි පටිපාටිය අනුව පොලිසිය කටයුතු නොකිරීම නිසා තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ යැයි ඔවුන් චෝදනා කළෝය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුකරයේදී උද්ඝෝෂණය කිරීමේ මූලික අයිතිවාසිකම පිළිබඳව මෙන්ම රටේ නීතින් උල්ලංඝනය කරමින් සිදු කරන්නා වූ උද්ඝෝෂණයන් මැඩ පැවැත්වීමට පොලිසිය කටයුතු කළ යුතු ආකාරයද සහ විශේෂයෙන්ම මහේස්ත්‍රාත්වරුන් විසින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී සැලකිය යුතු කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කරන ලදී.
පෙත්සම්කරුවන්ගේ චෝදනාව වූයේ පොලිසිය විසින් උද්ඝෝෂණය අතරතුරදී අධිකරණ නියෝගයන් සම්බන්ධයෙන් දැනුම් දීමක් නිසි පරිදි සිදු නොකළ බවත්, උද්ඝෝෂණයෙන් දින ගණනකට පසුව තමන්ව අත්අඩංගුවට ගැනීම අසත්භාවයෙන් සිදුකළ කටයුත්තක් බවත් , තවද තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණ ඉදිරියේදී පොලිසිය විසින් අසත්‍ය කරුණු ගෙනහැර දැක්වූ බවත්ය.
සිද්ධිමය කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී අවධාරණය කළේ උද්ඝෝෂණය කිරීම යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් ගණයට වැටෙන අයිතිවාසිකමක් වන නමුත් පොදු ස්ථානයන්හි උද්ඝෝෂණය කිරීම සීමා රහිතව භුක්ති විඳිය හැකි අයිතිවාසිකමක් ලෙස සැලකිය නොහැකි බවත්, එසේ සිදු කරන්නා වූ උද්ඝෝෂණයන් සෑම විටම රටේ පවතින නීතීන් උල්ලංඝනය නොවන අයුරින් සිදුවිය යුතු බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුකරයේදී මෙම උද්ඝෝෂකයන් විසින් මහා මාර්ගය අවහිර වන අයුරින් උද්ඝෝෂණය සිදුකිරීම නිසා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ එන වැරදි වන මහජන පීඩාවන් සිදුකිරීම සහ අනිසි අවහිරයක් ඇති කිරීම යන වරදවල් උද්ඝෝෂකයන් විසින් සිදුකර ඇති බවට නිරීක්ෂණය කරන ලද අතර ඒ හෙයින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම එකී උද්ඝෝෂකයන්ගේ මූලික අයිතිවාසිකමක් කඩවීමක් ලෙස හඳුනා නොගන්නා ලදී.
මෙම උද්ඝෝෂකයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් වූ ක්‍රියාවලිය තුළද ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවට අධිකරණය විසින් නිරීක්ෂණය කරන ලදී.
එහෙත් අධිකරණයට මෙම සැකකරුවන් ඉදිරිපත් කරන අවස්ථාවේදී බී වාර්තාවක් මගින් පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කිරීමේදී එකී බී වාර්තාව තුළ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ සවිස්තර වාර්තාවක් නොමැතිවීම, සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් වූ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් එහි ඇතුළත් නොවීමද ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන් නිරීක්ෂණය කොට ඇත.
හුදෙක් විමර්ශනය අවසන් නොවීමත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබීමත් යන පොලිසියේ කරුණු මත එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී සාධාරණ හේතුවක් නොමැතිව මහේස්ත්‍රාත් විසින් පොලිසියේ ඉල්ලීම මත සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ද අධිකරණය විසින් විශේෂයෙන් සලකා බලන ලදී.
මහේස්ත්‍රාත්වරුන් විසින් පොලිසියේ හුදු ඉල්ලීම මත නොසැලකිලි මත් ලෙස කටයුතු කරමින් පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) යටතේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මෙහිදි අධිකරණය විසින් සලකා බලන ලද අතර එහෙයින් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි ලෙස අවධානය යොමු කරන බව ද මෙහිදී සඳහන් විය.
බී වාර්තාව අසම්පූර්ණ එකක් වීමත් සහ මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සාධාරණ හේතුවක් මත නොවීමත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවට මෙහිදී අධිකරණය විසින් තීන්දු කරන ලදී.
තවද, ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධ නීතිය මෙන්ම මෙම නඩු තීන්දුව මගින් සාකච්ඡා කොට ඇති මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ කරුණු ගැන මහේස්ත්‍රාත්වරුන් පුහුණු කිරීමට ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ ආයතනය විසින් සුදුසු පියවරයන් ඉදිරියේදී ගනු ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන බවද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම නීතියට අනුව සිදුකරන උද්ඝෝෂණයන් සම්බන්ධයෙන් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳව මෙන්ම නීතිය කඩ කරමින් සිදු කරන්නා වූ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ද පොලිසිය විසින් පියවර ගැනීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති ක්‍රමවේදයන් අනුගමනය කරමින් සද්භාවයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම ද මෙහිදී අධිකරණය අවධානය යොමු කොට ඇත.
එහෙයින් එකී මූලධර්මයන් අධ්‍යයනය කරමින් පොලිස්පතිතුමා විසින් නීතිපතිගේ උපදෙස් ලබාගෙන මෙම නඩු තීන්දුවේ සිට මාස හයක් තුළදී නිසි පොලිස්පති නියෝග සකස් කිරීමට පියවර ගන්නා ලෙසද ඒ අනුව අධිකරණය නියෝග කළේය.
කාලාන්තරයක් පුරාවට පවතින අලි මිනිස් ගැටලුව සම්බන්ධයෙන්ද මෙම නඩු තීන්දුව මගින් නිරීක්ෂණය කොට ඇති අධිකරණය එකී කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඊට අදාළ නිසි බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම ගැටළුන් නිරාකරණය කිරීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් වූ ඉදිරි වාර්තාවක් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල දින සිට මාස හයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද නීතිපතිවරයා හට නියෝග කළේය.
Case No: SC FR 346/2018 [Decided on 08.07.2025]
Before: Murdu Fernando, PC, J., S. Thurairaja, PC, J. Yasantha Kodagoda, PC, J.







