“සැකකරුට වෙඩි තිබ්බේ ආත්ම ආරක්ෂාවට නම්, උණ්ඩය නාසය අසලින් පටන් ගෙන සැකකරු ගේ බඩෙන් ඉවර වුනේ කොහොමද ?…..”
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ සැකය

ගිණි අවි පෙන්නන්න ගිය සැකකරුහට චේතනාන්විතව වෙඩි තැබූ නිලධාරියා වහාම අත්අඩංගුවට ගන්න – බලපිටිය මහෙස්ත්‍රාත්
අහුන්ගල්ල RIU සංචාරක හෝටලය අසළ ටී.56 වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයන් කිහිප දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එකී විමර්ෂනයට අදාළ ගිණිඅවියක් සොයාගැනීමට රැගෙන යෑමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරියෙකු විසින් චේතනාන්විතව ඝාතනය කර ඇති බවට කරුණු හෙළි වන බව බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී. ජානක මහතා විසින් එකී සැකකරුගෙ මරණ පරීක්ෂණය සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කරමින් පසුගියදා තීරණය කළේය.
ඒ අනුව එම පොලිස් විශේෂ කාර්ය බලකායේ නියතු නිළධාරීවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.
මෙම පොලිස් බාරයේ සිටිමින් මරුණුවට පත් සැකකරුගේ මරණ පරීක්ෂණ විමර්ෂනයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ විමර්ශන වල දී අනාවරණය වූ කරුණු අනුව ගිනි අවියක් සොයා ගැනීමට අහුන්ගල්ල ප්‍රදේශයට එකී සැකකරු ඔවුන් විසින් රැගෙන ආ බවත්, එම අවස්ථාවේ දී සැකකරු විසින් සඟවා තිබූ ගිනි අවිය ගෙන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් වෙත වෙඩි තැබූ බවත්, එම නිළධාරීන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා ඔවුන් විසින් තබන ලද වෙඩි පහරකින් සැකකරු මරණයට පත් වූ බවත් ය.
කෙසේවෙතත්, මරණ පරීක්ෂණ විමර්ෂනයේ සියලු සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙන්ම එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ගේ සාක්ෂි ද සැලකිල්ලට ගත් අධිකරණය මෙම මරණය සැකකරු දණ ගසා සිටිය දී ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට උණ්ඩය සැකකරුගේ ශරීර අභ්‍යන්තරයට ගමන් කරන ආකාරයෙන් වෙඩි තබා ඇති ඇති බවට තීරණය කළේය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් තම නියෝගය මඟින් කියා සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නියතු එම නිලධාරියා විසින් ඔහුගේ ආත්මාරක්ෂාව උදෙසා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මෙම සැකකරුගේ මරණය සිදු වී නොමැති බවත්, මෙම මරණය චේතනාන්විතව සිදු කරන ලද වෙඩි තැබීමකින් සිදු වී ඇති මරණයක් බවත් ය.
“…..මරණ පරීක්ෂණ සාක්ෂි අංක 2 සහ මරණ පරීක්ෂණ සාක්ෂි අංක 03 ගේ සාක්ෂි සලකා බැලීමේ දී ඔවුන්ගේ සාක්ෂි අනුව පැහැදිළිවම පෙනී යන්නේ, සැකකරු ඔවුන් ප්‍රකාශ කරන අන්දමට උස ගලක් පිහිටි ආසන්නයට සැකකරු රැගෙන ගොස් ඇති බවයි. එම ගල සහ පොළව පිහිටි ස්ථානයේ ගුහාවක් තිබී ඇති බවත්, එහි තිබි මරණකරු යම් සුද පැහැති පාර්සලයක් රැගෙන ඇති බවට ද පෙනී යයි. ඒ අවස්ථාවේ දී පැ.සා. 02 මරණකරුගේ පිටුපසින් ස්ථානගත වී ඇත. මරණකරු අදාළ බෑගයේ තිබූ ගිනි අවිය රැගෙන වෙඩි තැබූ බවටත් සඳහන් කර ඇත. ඒ අවස්ථාවේ දී සාක්ෂි අංක 02… ආරක්ෂාව උදෙසා සැකකරු දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවට සඳහන් කර ඇත.
මෙහි දී මතුවන ගැටලුව වන්නේ, පැ.සා. 02… සැකකරුගේ පිටුපසින් සිට ඔහු දෙසට වෙඩි තැබුවේ නම් මරණකරුගේ පිටුපස දෙසට තුවාල සිදුවිය යුතු වේ. නමුත් මරණකරුගේ ශරීරයේ පිටුපස දෙසින් තුවාල සිදු වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව පෙනී නොයයි. ඒ අනුව මා මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව දෙස අවධානය යොමු කරමි.”
“වෛද්‍යවරියගේ සාක්ෂි අනුව පැහැදිළි වන්නේ අදාළ ගිනි අවියෙන් තබන ලද උණ්ඩය මරණකරුගේ නාසයට ඉහළින් ආරම්භ වී හනුක අස්ථිය, ගෙලෙහි මාංස පේයි සහ රුධිර නාල, දකුණු පෙනහැල්ල සහ අක්මාව පසාරු කරගෙන ගොස් උදර කුහරය තුළ තිබී සොයාගෙන ඇති බවයි. තවද එහි පිටවීමේ තුවාලයක් නොමැති බවටත් වෛද්‍යවරියගේ වෛද්‍ය වාර්තාව අනුව ද පැහැදිළි වේ. ඒ අනුව අදාළ වෙඩි උණ්ඩය මරණකරුගේ නාසය දෙසින් ශරීරය තුළට ඇතුලු වී පහළට ගමන් කර ඇති බවට පැහැදිළිවම පෙනී යයි…..”
“……පැ.සා 02 පවසන අන්දමට ඔහු මරණකරුගේ පිටුපසින් සිට මරණකරුට වෙඩි තැබූවේ නම් නාසය අසලින් ආරම්භ වී ශරීරය තුළට උණ්ඩය ගියේ කෙසේ ද යන්න මෙහි දී පැහැදිළිවම සැකයක් මතු වේ. මරණකරුගේ හිස් කබලෙහි හෝ ශරීරයේ පිටුපස දෙස තුවාල නොමැති බවට පැහැදිළිවම පෙනී යයි. ගිනි අවියෙන් තැබූ උණ්ඩය නාසය ආසන්නයෙන් ආරම්භ වී මරණකරුගේ හක්ක සහ බෙල්ලේ මාංශපේෂි තුළින් ශරීරය අභ්‍යන්තරයට එසේ නම් ගමන් කර ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙහි දී පැහැදිළිවම සැකයක් ජනිත කරයි. තවද පිටවීමේ තුවාලයක් ද දක්නට නැත…… ඒ අනුව වෛද්‍ය වාර්තාව සහ මරණකරුට තැබූ වෙඩි උණ්ඩයේ ගමන් මාර්ගය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පැහැදිළිවම පෙනී යන්නේ මරණකරු දණ ගසා සිටිය දී ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට උණ්ඩය මරණකරුගේ ශරීර අභ්‍යන්තරයට ගමන් කරන ආකාරයෙන් පැ.සා. 02 විසින් මරණකරුට වෙඩි තබා ඇති බවයි…..”
නඩු අංකය – AR/2049/22 (බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය)
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සමග නීතිඥ නදීශා කන්නන්ගර, නීතිඥ බී. ප්‍රියංග සහ නීතිඥ නාලක ප්‍රියවංශ පෙනී සිටියහ.