මව්බස දෙමළනම් පොලිස්බස සිංහල නොවිය යුතුයි: ශ්‍රේෂ්ඨාධිකරණය

ව්‍යවස්ථාව මඟින් පනවා ඇති ජාතික භාෂා ප්‍රතිපත්තියට අනුකූල වන ලෙසට පොලිස්පති වරයා හට උපදෙස් ලබා දෙන ලෙස නීතිපති වරයාට නියෝග

“පරිපාලන භාෂාව දමිළ බස වන ප්‍රදේශයන්වල මහේස්ත්‍රාත් අධිකරණයේ ‘බී’ වාර්තාවන් ගොනු කිරීමේදී එම වාර්තාවන් දමිළ බසින් සකස් විය යුතුයි”

“උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ඇති පොලිස් ස්ථාන තුළ අවශ්‍ය භාෂා පරිවර්තක සේවාවන් සැපයීමට කඩිනමින් පියවර ගන්න”

දමිළ බස කතා කරන සැකකරුවන්ගෙන් හෝ වින්දිතයන්ගෙන් මෙන්ම යම් සාක්ෂිකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදි සහ ප්‍රකාශ සටහන් කර ගැනීමේදි ඔවුන්ගේ මව් බසෙන් එම කටයුතු කිරීමට අවශ්‍ය පියවර යෙදීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා හට මෑතකදී නියෝග කරන ලදි.

එමෙන්ම, පරිපාලන භාෂාව දමිළ බස වන ප්‍රදේශයන්වල මහේස්ත්‍රාත් අධිකරණයේ ‘බී’ වාර්තාවන් ගොනු කිරීමේදී එම වාර්තාවන් දමිළ භාෂාවෙන් සකස් විය යුතු බවත්, අවශ්‍ය නම් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගේ පිටපත් සමග එම ‘බී’ වාර්තාවන් ගොනු කළ හැකි බවත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මුලතිව් විශේෂ විමර්ෂන ඒකකය විසින් එක්තරා පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඉන් එක් සැකකරුවෙකු තමන්ව අත්අඩංගුවට ගැනීමේදි ප්‍රමාණවත් සධාරණ හේතුවකින් තොරව පොලීසිය කටයුතු කරන ලද්දේ යැයි චෝදනා කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළේය.

කෙසේවෙතත්, අධිකරණය ඉදිරියේ ගෙනහැර දැක්වූ සියලු කරුණු පිළිබඳව සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ පොලීසිය විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තියේ දැක්වෙන්නාවූ අවම අවශ්‍යතවයන් සපුරා නොමැති බවට ඔප්පු කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි. එහෙයින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේදි මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇතිබවට පෙත්සම්කරු ඔප්පුකිරීමට අපොහොසත් වී ඇති හෙයින් මෙම පෙත්සම නිශ්ප්‍රභා කෙරුණි.

කෙසේනමුත්, මෙම නඩුවේ කරුණු පරිශීලනය කිරීමේදි ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ කාරණා කිහිපයක් නිරීක්ෂණය කරන්නට විය. එනම්, පෙත්සම්කරුට(සැකකරුට) එරෙහිව මුලතිව් විශේෂ විමර්ෂන ඒකකය වෙත මූලික පැමිණිල්ල කරන ලද පුද්ගලයා දමිළ බස කතා කරන තැනැත්තෙකු වුවත් ඔහු විසින් කරන ලද පැමිණිල්ල සටහන් කර ඇත්තේ සිංහල භාෂාවෙන් බවත්, එමෙන්ම මෙම විමර්ෂනයට අදාළව කරන ලද ප්‍රශ්න කිරීම් වලට භාජනය වූ තැනැත්තන් දමිළ බස කථාකරන තැනැත්තන් වුවද ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් සහ ප්‍රකාශ සිංහල භාෂාවෙන් කර තීබීමත් මෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විවේචනය කරන ලදී.

තවද, මෙම විමර්ෂනයට අදාළව කටයුතු කළ මහෙස්ත්‍රාත්වරයා ද දමිළ භාෂාව කතා කරන තැනැත්තුකු වුවද අධිකරණයේ ගොනු කරන ලද ‘බී’ වාර්තව ද සිංහල භාෂාවෙන් සකස් කර තිබු බවද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදි නිරීක්ෂණය කර ඇත.

පැමිණිලිකරු, සැකකරුවන් මෙන්ම සැකකරුවන්ගේ නීතිඥවරයාද දමිළ බස කතා කරන පුද්ගලයන්ව තිබියදි පොලීසියේ මෙම ක්‍රියාවන් කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකි තත්වයක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අවධාරණය කළේය.

ඒ අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ඇති පොලිස් ස්ථාන තුළ අවශ්‍ය භාෂා පරිවර්තක සේවාවන් සැපයීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, එම පියවරයන් මෙම නඩු තීන්දුවේ සිට (2025/09/08) මාස හයක් තුළ ක්‍රියාත්මක කොට බලාත්මක කිරීමට කටයුතු කළයුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා හට නියෝග කරන ලදී.

තවද, ව්‍යවස්ථාව මඟින් පනවා ඇති ජාතික භාෂා ප්‍රතිපත්තියට අනුකූල වන ලෙසට පොලිස්පති වරයා හට උපදෙස් ලබා දෙන ලෙස නීතිපති වරයාටද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

Case No : SC / FR Application No. 326/2024 [Decided on 08.09.2025]

Before: YASANTHA KODAGODA, PC, J
A.H.M.D. NAWAZ, J &
K. PRIYANTHA FERNANDO, J

Join Our Community

Keep in touch with the latest news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *